Thursday, August 29, 2013

මාර්ටින් ලූතර් කිංගේ ‍‍‍ඓතිහාසික දේශනයේ පනස් වස් සැමරුම.

මාර්ටින් ලූතර් කිං (1929 - 1968) වූ කලී අමෙරිකානු මහජන අයිතිවාසිකම් රැකගැනීම වෙනුවෙන් සටන් කළ ප්‍රධාන නායකයෙකි. ඔහු බැප්ටිස්ට් දේවගැතිවරයෙකු වූ අතර, එවකට ඔහු වැනි කළු මිනිසුන් හට නායකත්වය ලැබුණේ ඉතා කලාතුරකිනි.

එහෙත්, ඔහු මානව අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් සටන් කළේය. මොන්ට්ගොමෙරි බස් බෝයිකොට් සංවිධානය (1956-1957) පිහිටවූ ඔහු, පසුව දකුණු ක්‍රිස්තියානි නායකත්ව සමුළුවට සහභාගි විය. එම සමුළුවේ සභාපතිවරයා විය.

1963 වොෂින්ටන්හිදී ඔහු ‘මට සිහිනයක් ඇත’ (I have a dream) මැයෙන් පැවැත්වූ කතාවෙන් ඔහු මානව අයිතිවාසිකම් පිළිබඳව සාමාන්‍ය ජනයා දැනුවත් කිරීමට සමත් වූයේ ය.

1963 වසරේ අගෝස්තු මස 28 වන දින අමෙරිකාවේ ලින්කන් අනුස්මරණ චතුරශ්‍රයේදී පැවැත්වූ එම දේශනයට සවන් දීම සඳහා රැස්ව සිටි පුද්ගලයින් සංඛ්‍යාව 25000 ඉක්මවීය.

එම දේශනයේදී ඔහු අවධාරණය කළේ, වර්ණ භේද වාදය සහ ජාති වාදය මුළුමනින් ම තුරන් කළ යුතු බව ය.

"සමෙහි වර්ණය මත පදනම් නොවී චරිත ස්වභාවය මත පදනම්ව විනිශ්චය කරන සමාජයක් තුළ මගේ දරුවන් ජීවත් වනු දැකීමට මට සිහිනයක් ඇත" යනුවෙන් ඔහු පැවසුවේ, එම අදහස ය.

1964 ඔහු නොබෙල් ත්‍යාගය දිනාගන්නා ලාබාලතමයා වීමට තරම් භාග්‍යවන්ත වුයේ ය. එම සාම ත්‍යාගය ඔහුට හිමි වූයේ, ජාතිවාදය සහ අනෙකුත් ආකාරවල සමාජ බෙදීම්, නොයෙකුත් සමාජ තර්ජන ගර්ජන මධ්‍යයේ වුව ද විවේචනය කිරීම හේතුවෙනි.

මාර්ටින් ලූතර් කිං උපත ලැබුවේ 1929 ජනවාරි 15 ජෝර්ජියා හි ඇට්ලන්ටාහිදීය. පූජක මාර්ටින් ලූතර් කිං සහ ඇල්බර්ටා විලියම්ස් කිං යන දෙපළගේ පුත්‍රයා ලෙස ඔහු උපත ලැබීය. ඔහුගේ පියාගේ නම මයිකල් කිං වූ අතර, එම නිසාම ඔහුගේ උපන් නම ලෙස භාවිතා කරන ලද්දේ මයිකල් කිං යන්නයි. ඒ 1935 වනතුරුය.

ඔහුගේ පියා විසින් පසුව දෙදෙනාගේම නම් ජර්මානු රෙපරමාදුකරුවෙකු වූ මාර්ටින් ලූතර්ට ගරු කිරීමක් ලෙස වෙනස් කර ගැනීමෙන් පසු, ඔහු මාර්ටින් ලූතර් කිං ලෙස වෙනස් විය. විලි ක්‍රිස්ටින්, ඔහුගේ වැඩිමහලු සොහොයුරිය (1927 සැප්. 11) වූ අතර බාල සොහොයුරා ඇල්පඩ් ඩැනියෙල් (1930 ජුලි 30 – 1969 ජුලි 01) වූයේය.

මාර්ටින් ලූතර් කිං 1939 දී පල්ලියේ ගීතිකා කණ්ඩායම සමඟ Gore with the wind නම් චිත්‍රපටියේ මංගල දර්ශණය දවසේදී ගායනයක් ඉදිරිපත් කළේය. පාසලේ නව වන පන්ති‍ය ද, දොළොස් වන පන්තිය ද මග හරිමින් උසස්වීම් ලද ඔහු වයස අවුරුදු 15දී මෝහවුස් විද්‍යාලයට ඇතුළත් විය. ප්‍රථම කලා උපාධිය අවසන් කළේ සමාජ විද්‍යා විෂය ධාරාවෙනි.

පසුව පෙන්සිල්වේනියාවේ චෙස්ටර්හි ක්‍රෝසර් දේවධර්ම විද්‍යාලයට ඇතුළු වූ ඔහු, දේවධර්ම ශාස්ත්‍රය පිළිබඳ ප්‍රථම උපාධිය දිනා ගත්තේ 1951 දීය. 1951 සැප්තැම්බර් වලදී ඔහු ආචාර්ය උපාධියට සුදානම් වූ අතර, ඒ බොස්ටන් සරසවියේ දීය. ඔහු හැදෑරුවේ ව්‍යවස්ථික දේවධර්ම ශාස්ත්‍රයයි. 1955 ජුනි 5 වන දින ඔහු ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේය. අවුරුදු 24 දී ඩෙක්ස්ටර් ඇවෙනිව් බැප්ටිස්ට් පල්ලියේදී (මොන්ටොගොමෙරි, ඇලබාමා) ඔහු දේවගැති තනතුරට පත්විය.

මාර්ටින් ලූතර් කිං 1968 අප්‍රේල් 4 වැනිදා ඝාතනය කරන ලද්දේ, ටෙනෙස්සීහි මෙම්පිස්හිදීය. ඔහුගේ මරණින් පසු ජනාධිපති ජිම් කාටර් විසින් 1977දී ඔහු Presidential Medal of Freedom සම්මානයෙන් පුදනු ලැබීය.

මාර්ටින් ලූතර් කිං ඝාතනය කරන ලද දිනය අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික දිනය වශයෙන් 1986දී සම්මත කරන ලදී. මරණින් පසු ඔහු Congressional Gold Medal සම්මානයෙන් ද පුදනු ලැබීය.

මාර්ටින් ලූතර් කිං අපේක්ෂා කළ වර්ණ භේද වාදයෙන් තොර අමෙරිකාවක් මේ වන නිර්මාණය වී තිබේ. එහි මුදුන් ඵලය වී ඇත්තේ, බරැක් ඔබාමා නමැති කළු ජාතිකයෙකු රටේ ජනාධිපති ධුරයට ද පත්ව සිටීම ය.
 -Srilankamirror.- 

No comments:

Post a Comment