Thursday, February 28, 2013

වරදකරුවෙකුගේ පාපොච්චාරණය උසාවියේ බලපෑමට වරදකරු බව පිලිගත්තා


මාතලේ සිදත්, පසුගිය අවුරුද්දේ නොවැම්බර් 28 වෙනිදා - මිතුරන් හත්දෙනෙකු සමග - මීමුරේ, මිතුරෙකුගේ නිවසට ගියේ විනෝද චාරිකාවක් සදහාය.
මීමුරේ ශ්‍රි ලංකාවේ දර්ශණීය ගමක්.
ඔවුන් එදින දිය නා, ආහාර ගෙන විනෝද වුනා. රාත්‍රියේ සිදත් තවත් මිතුරෙක් සමග ආපසු එනන්ට පිටත්වුනා. අනෙක් අය මිතුරාගේ නිවසේ නැවතුනා.
රාත්‍රී 12ට පමණ ඔවුන් හුන්නස්ගිරිය ඉන්ධන පිරවුම්හලේ නවතා ඉන්ධන ලබා ගනිමින් සිටින අතර, එතැනට පැමිණි උඩුදුම්බර පොලිසියේ නිලධාරීන් ඔවුන්ව අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙන ගියා.
සරමකින් හා ටීෂර්ට් එකකින් සැරසී සිටි ස්ථානාධධිපති කපිල දිසානායක ඔවුන්ට පහරදී - නිදන් හෑරීමට පැමිණි බවට චෝදනා කලා.
දින දෙකක් පොලිසියේ නීතිවිරෝධීව රදවා තබාගෙන සිට, 30 වෙනිදා ඔවුන් සියලු දෙනාව - තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කලා. ඔහු ඉදිරිපත්ව සියලු විස්තර මහේස්ත්‍රාත්වරයාට ප්‍රකාශ කලා.මහේස්ත්‍රාත් කථාවට සවන් දුන්නාට කිසිවක් සටහන් කළේ නැහැ. සියල්ල අසා සිටි විනිසුරුවරයා - ඔවුන්ව 2012.12.05 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කලා. නඩු අංකය බි.1264/12 වේ.
2013.01.02 දින ඔවුන්ට විරුද්ධව පුරා විද්‍යා වස්තු ආඥා පනත යටතේ චෝදනා නගනු ලැබුවා. මේ සමග ඔවුන්ට වරද පිළිගන්නා ලෙසට බලපෑම් එල්ලවුනා. සමහරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඒ අතර වුනා. පොලිස් ස්ථානාධිපති කපිල දිසානායක ඥාතීන්ට කියා තිබුනා වරද පිළිගන්නා ලෙසට.
එම බලපෑම් හමුවේ 2013.01.09 වන දින - සිදත් හැර අන් අය වරද පිළිගත්තා. වරද පිළිගත් අයව පසුදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කල විනිසුරුවරයා - සිදත්ව 2013.01.16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කලා. ඒ සිදත් වරද පිළිනොගත් නිසායි.
පසුදින එනම් 2013.01.10 දින - වරද පිළිගත් අයට රු.1000/= බැගින් දඩ නියම කලා. දඩය ගෙව්ව ඒ අය නිදහස්ව යන්න ගියා.
එදින සිදත්ව ඇමතූ විනිසුරුවරයා නඩුව ඉවර කරගන්න කැමති නැද්දැයි කියා විමසුවා. ඒ අවස්ථාවේදීත් සිදත් සියලු දේ විස්තර සහිතව විනිසුරුවරයාට ප්‍රකාශ කලා. ඒ කිසිවක් සටහන් කර නැත.
2013.01.16 වන දින අධිකරණයේදී, සිදත් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා ඔහුගෙන් ඇසුවා වරද පිළිගන්නවාද කියා. සිදත් මට ඇප අරන් දෙන්න බැරිද කියා නීතිඥවරයාගෙන් විමසුවා. ඔහු කිව්වා ඇප දෙන්නේ නැහැ කියා . නඩුව ඉවර වෙනකම්ම ඇප ගන්න බෑ කිව්වා. කොපමණ වාර ගණනක් නඩුව යයිද කියා විමසූවිට, හතර පස් වාරයක් යයි කිව්වා.
කරන්නට දෙයක් නැතිවූ සිදත් වරද පිළිගන්නා බව උසාවියට කිව්වා. රු. 1000/= දඩ නියම කලා. ඔහු නිදහස් වුනා.
සිදත් - නිදන් හොරෙක් බවට වරද කරු වි තිබෙන අයෙක් - නීති පොතේ සටහන් වෙලා.
උසාවියේ බලපෑම් මත තමා වරද පිළිගත් බව අධිකරණ සේවා කොමිෂමට, මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතිට ලිඛිතව දැනුම් දී තිබෙනවා.
ඒ යුක්තිය හා සාධාරණත්වය අපේක්ෂාවෙන් නොවේ. රටේ යුක්තිය පසදලීමට තිබෙන ආයතන හා පුද්ගලයින්ගේ ක්‍රියා කලාපය වාර්තාගත වීමටය.

No comments:

Post a Comment